Archaeology Temple 

ගෝතමී විහාරයේ බිතුසිතුවම්

ගෝතමී  විහාරය 

ලංකාවේ වර්තමාන විහාර බිතුසිතුවම් අතර විශිෂ්ට කලා ලක්ෂණ පිළිබිඹු කෙරෙන විහාරයකි බොරැල්ලේ ගෝතමී විහාරය. වර්ණ, රේඛා, හැඩතල, නිමාව හා ශෛලිය අතින් ගෝතමී විහාරයේ බිතුසිතුවම් අගනා කලා නිර්මාණ වශයෙන් සැලකිය හැකිය.

නූතන චිත්‍ර ශිල්පියෙකු වන ජෝර්ජ් කීට් මහතා විසින් අඳින ලද ගෝතමී විහාරයේ සිතුවම් වල දක්නට ලැබෙන්නේ නව කලා ආරකි. මෙම සිතුවම් වලින් නිරූපණය වන්නේ බුද්ධ චරිතයයි.නමුත් ජාතක කථා, සූවිසි විවරණය, සත් සතිය වැනි අවස්ථා මේ චිත්‍ර ශිල්පියාගේ සිතුවමට ලක්වී නොමැත.

“දේවාරාධනය” නමැති  චිත්‍රයෙන් ආරම්භ වන සිතුවම්,මහා මායා දේවියගේ සිහිනය, සිදුහත් කුමාරෝත්පත්තිය, වප් මගුල, ශිල්ප දැක්වීම, විවාහ මන්ගල්‍යය, සතර පෙර නිමිති, මහබිනික්මන,  නෙරන්ජනාවෙන් එතෙර වීම, පැවිදිවීම, බිම්සර රජු හමුවීම, මාර යුද්ධය, දම්සක් දෙසීම, කිඹුලවත් පුර වැඩීම, පරිනිර්වාණය ආදී බුද්ධ චරිතයේ විවිධ අවස්ථාවන් වියළි බදාමයක් මත නිර්මාණය කර ඇත.මේ දර්ශන අතරින්  “මහා මායා දේවියගේ සිහිනය” සහ “සිය සිය පුතු හා රහල් කුමරුන් දෙස එබී බැලීම” යන අවස්ථා ඉතා වැදගත්වේ.

බොරැල්ලේ ගෝතමී විහාරය Gothami Viharaya Boralla

රේඛා භාවිතය

බොරැල්ලේ ගෝතමී විහාරය Gothami Viharaya Boralla

මේ චිත්‍ර ශිල්පියා ප්‍රකාශනයට උචිත පරිදි රේඛා හසුරුවා ඇති බව ගෝතමී විහාරයේ සිතුවම් නැරඹීමේදී පෙනීයයි. ඔහුගේ රූපවල යොදා ඇති බාහිර රේඛාව නිතැතින්ම ගලා එන රේඛාවකි. තවද මෙම කෙටි රේඛා බහුල වශයෙන් යොදා තිබෙන්නේ තේමාවටත් ප්‍රකාශනයටත් උචිත අයුරුනුයි. රූපවල යොදන ලද ශ්රීවාභරණ, කර්ණාභරණ, ශීර්ෂාභරණ, රෙදිපිළි  හා දොර රෙදි සඳහා උපයෝගී කරගත් කෙටි රේඛා නිසා ඒවායේ විචිත්‍ර බවක්ද පළවේ.සිතුවම්වල ත්‍රිමාණ ලක්ෂණ මතු කිරීමටද කැඩුණු කෙටි රේඛා උපයෝගී කර ගෙන ඇත.

භාවමය හැඟීම් ඉතා ගැඹුරින් ප්‍රකට කිරීමටද චිත්‍ර ශිල්පියා දක්ෂ වූ ආකාරය “මාර යුද්ධය”, “පිරිනිවන් පෑම” වැනි චිත්‍ර වලින් මනාව පැහැදිලි වේ. ගෝතමී විහාරයේ මාර යුද්ධය දැක්වෙන චිත්‍රයෙහි වර්ණ රේඛා හා හැඩතල වල දක්නට ලැබෙන්නේ අපුර්වත්වයකි. මාර පිරිසේ රෞද්‍ර හා භයානක විලාසය පෙන්වීමට විකෘති හැඩ තල හා සෘජු හා වක්‍ර රේඛා උපයෝගී කර ගෙන ඇත.චිත්‍රයේ වර්ණ පවා චරිතයට උචිත අයුරින් යොදා ගෙන ඇති අතර, මේ චිත්‍රය පිකාසෝගේ චිත්‍රවල ඇති හැඩ තල සිහිකරවයි.

වර්ණ භාවිතය

බොරැල්ලේ ගෝතමී විහාරය Gothami Viharaya Boralla

ගෝතමී විහාරයේ සිතුවම් සඳහා ජෝර්ජ් කීට් චිත්‍ර ශිල්පියා යොදා ගෙන තිබෙන වර්ණ චිත්තාකාර්ශනීයයි. සෑම චිත්‍රයකම පසුතලයේ ඇති සුළු ඉඩ ප්‍රමාණය පුරවා තිබෙන්නේ රතු පාටිනි. මානව රූප සඳහා තද දුඹුරු, ළා අඳුරු, කහ වැනි වර්ණ භාවිතා කර ඇත. ඇඳුම් පැළදුම්, ගස්වල කඳන් සඳහා සුදුපාට යොදා ඇති අතර,කොළ පාටද අතරින් පතර වෙයි. මේ සිතුවම් වල බාහිර රේඛාව කළු පැහැයෙන් නිර්මාණය කර ඇත.

Related posts

Translate »