Ancient Place crafts Temple 

ගඩලාදෙණිය විහාරය

ගම්පොළ යුගයට අයත් ගඩලාදෙණිය හෙවත් සද්ධර්මතිලක විහාරය ගම්පොළ රජකළ සිව්වන බුවනෙකබාහු(ක්‍රි.ව.1341 – 1351) රජු සමයේදී ධම්මකිත්ති හිමියන්ගේ අනුශාසනාවෙන් සේනා‌‍ධිලංකාර ඇමතිවරයා විසින් ඉදි කර ඇත.

ගෘහ නිර්මාණ ශිල්පය

තනි කළු ගලින් නිර්මාණය කර ඇති මෙම විහාරයේ ගෘහ නිර්මාණ ශිල්පය දකුණු ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පයට සමාන කම් දක්වයි. ගඩලාදෙණිය සෙල්ලිපියේ සඳහන් වන ආකාරයට මෙම විහාරය ගොඩනැගීමේදී මූලිකවම වාස්තු විද්‍යා ශාස්ත්‍රී ප්‍රතිමා ශාස්ත්‍රී ගණේෂ්වරාචාර්ය ප්‍රමුඛ ශිල්පීන් කටයුතු කර ඇත. ගඩලාදෙණිය විහාර මණ්ඩපය, අන්තරාලය හා ගර්භ ගෘහය යනුවෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැකියි. මෙහි මණ්ඩපය කැපූ කළු ගලින්ම නිමවූ පැතිලි වහලයකින් යුක්තය. අඩිතාලමද නටන හා වයන රූපාවලියක් නෙළා කළු ගලින්ම නිර්මාණය කර ඇත. මණ්ඩපය දෙපස කළු ගල් කුලුනු දෙකකින් සමන්විත වන අතර මෙම ගල් කුලුනු සතරැස් හා අටපට්ටම් හැඩයකින් යුක්තය. කුලුනු මුල හිස ඔසවාගත් සිංහ රූපයක් වන අතර  එහි මුදුනේද සිංහ රූපයක් වෙයි. තවද මෙම කුලුනු වල නටරාජා ක්‍රිෂ්ණා ආදී හින්දු දේව රූප කැටයම් කර තිබෙයි. එසේම කුලුනු වල වෘෂභයෙකු පිට නැගගත් මිනිසාගේ රූපයත්, මාළුවකු උඩ සිටින මිනිස් රූපයත් නිර්මාණය කර ඇත. විශාල කුලුනු හා කුඩා කුලුනු ගල් පටියකින් සම්බන්ධ කර ඇත. මෙහි වෘත්තාකාර කොටස්වල කැටයමට නගා ඇති නාටක රුපවලිය ද කලාත්මකව නිර්මාණ කර ඇත.

විහාරයට ඇතුළුවන ස්ථානයේ සඳකඩ පහනක්ද, කුඩා ගල්පඩි පෙළ දෙපස ගජසිංහ රූපයෙන් සැදුම්ලත් කොරවක් ගල් දෙකක්ද වෙයි.දකුණුපස දේවාලයක්ද වෙයි. එය උත්පල වණ්ණ දෙව් රජුගේ ලෙස සෙල්ලිපියෙහි සඳහන් කර ඇත. ගර්භ ගෘහය වැඩහුන් බුදු පිළිමයකින් හා හිටි පිළිම  සතරකින් යුක්තය.

බුදු පිළිමය

ගඩොලින් හා බදාමයෙන් නිර්මාණය කර ඇති වැඩහුන් බුදුපිළිමයේ සිවුරු රැලි දිය රැල්ලක ආකාරය ගනියි. පිළිමයේ මුහුණ වෘත්තකාරය දෙනෙත් විවෘතය පැරණි බුදුපිළිම වල ඇති ශාන්ත භාවය මෙම බුදුපිළිම වල දක්නට නොලැබෙයි. ප්‍රතිමාව නිර්මාණය කිරීමේදී මූලිකත්වය ගනු ලැබුවේ දකුණු ඉන්දීය නිරමාණ ශිල්පියෙකු බැවින් දේව ප්‍රතිමාවක ලක්ෂණ ද මෙයට ඇතුලත්ව ඇත. පිළිමයට ඉහලින් ඇති මකර තොරණ ද විශේෂත්වයක් ගනියි.

චෛත්‍ය

විහාරයේ වහලය නිර්මාණය කර ඇත්තේ පැතලි ගල් පුවරු වලිනි. ඉහළ මාලයේ වෘත්තාකාර ගර්භයකින් යුත් චෛත්‍යයක් ඇත. චෛත්‍යයේ ඇතුළත බුදු පිළිමයක් තිබූ බව සෙල්ලිපියේ සඳහන්වේ. එහෙත් දැනට එහි ප්‍රතිමාවක් දක්නට නැත. එය පෘතුගීසීන් විසින් පැහැර ගෙන ගිය බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි. තවද චෛත්‍ය ගර්භය අභ්‍යන්තරය බිතුසිතුවම් වලින් අලංකාරව තිබුණු බව දැනට ශේෂව පවතින සිතුවම් කැබලි වලින් පැහැදිලි වෙයි. බිත්තිවල ඇතිවන තෙතමනය නිසා බදාම ගැලවී ගොස් ඒ මත සිතුවම් විනාශ වී ඇති බව පෙනේ. මහනුවර යුගයේ කලා සම්ප්‍රදාය අනුව සිතුවම් කර ඇති මේ සිතුවම් සඳහා කහ, රතු, සුදු, කළු හා කොළ වර්ණ භාවිතා කර ඇත.

විජයොත්පාය

ගඩලාදෙණිය විහාරය ඉදිරිපිට ඇති විජයොත්පාය නමැති ගොඩනැගිල්ල මෙයට සමකාලීනව තැනුව බව සිතිය හැකිය. ගඩලාදෙණිය විහාරයට බෞද්ධ හින්දු වාස්තු විද්‍යාවෙහි සංකලයක් ලැබී ඇති බව පැහැදිලි වෙයි.

 

 

Related posts

Translate »