ගල්විහාරය පොලොන්නරුව - gal viharayaAncient Place Statue Temple 

පොළොන්නරුව ගල්විහාරය (උත්තරාරාමය)

ගල්විහාරය පොලොන්නරුව - gal viharaya polonnaruwa

පොළොන්නරුවේ නගරයේ උතුරු සීමාවෙහි පිහිටි මෙම පුදබිම මහාවංශයෙහි උත්තරාරාමය යන නාමයෙන් හැඳින්වේ. ගල්විහාරය යන නාමය මේ සඳහා යෙදී ඇත්තේ මෙහි ඇති බුදු පිළිම හතරම ගලින් නිර්මාණය කර ඇති හෙයිනි. පොළොන්නරුවේ රජ කළ කීර්තිමත් රජ කෙනෙකු වූ මහා පරාක්‍රමබාහු ( ක්‍රි.ව. 1153-1186) රජුගේ මෙහෙයවීම යටතේ දක්ෂ මූර්ති ශිල්පීන් විසින් මෙම ගල් විහාරයේ මූර්ති නිර්මාණය කරන ලදී.
ගල්විහාරයේ ප්‍රතිමා සතරකි. ඒවා මෙසේය.
1. වජ්‍රසනාරූඪව ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ හිඳින බුදු පිළිමය.
2. දෙපසින් පිරිවර දෙවියන් දෙදෙනෙකු සහිතව එම ඉරියව්වෙන්ම වැඩ හිඳින බුදු පිළිමය.
3. හිටි බුදුපිළිමය.
4. විශාල ප්‍රමාණයේ සැතපෙන බුදු පිළිමය.
ඉහත සඳහන් දෙවන හිඳි පිලිමයටත් (ලෙන තුල පිහිටි) හිඳි පිලිමයටත් අතර, පිහිටි ගලෙහිම ඉදිරියට නෙරා ගිය කොටසක ලියන ලද ශිලා ලිපියක් ඔබට දැකිය හැකිය. මෙය මහා පරාක්‍රමබාහු රජු විසින් තුන් නිකායම සමඟි කරන ලදුව ලියන ලද පොළොන්නරු කතිකාව නමින් ප්‍රකට ශිලා ලේඛනයයි. පිහිටි ගලෙහිම නිර්මාණය කර ඇති මූර්ති හතර ලංකාවේ කලා ඉතිහාසයටද ශිලාලේඛනය ශාසනික ඉතිහාසයට ද ඉමහත් ආලෝකයක් ගෙන දෙන්නේය.
ගල්විහාරයේ මෙම මූර්ති නිර්මාණය කර ඇති පර්වතය දිග අඩි 168 කි. මෙම පර්වතය සෑම පැත්තකින්ම ක්‍රමයෙන් බැවුම්ව පිහිටා ඇත.ප්‍රතිමා නෙළීම සඳහා මෙම පර්වතය මූණත අඩි 15 ක් පමණ කපා ඇත. ලෙනෙහි අඩි 17 ක් කපා ඇත. මෙම පුදබිමට ඇතුළු වන විට පළමුවෙන්ම හමුවන්නේ වීරාසන ඉරියව්වෙන් වැඩ හිඳින සමාධි බුදු පිළිමයයි. ආසනයක් මත නෙළා ඇති මෙම පිළිමයේ හිසට පිටුපසින් රශ්මි මණ්ඩලය හෙවත් ප්‍රභා මණ්ඩලය දක්නට ලැබේ.

මෙම බුදු පිළිමය කුඩා සමාධි බුදු පිළිම සහිත සරසිලි ද එහි පසුබිමෙහි අලංකාර මකර තොරණක් ද ඇත. සාංචි තොරණ වැනි එම තොරණට මකර රූප ද සම්බන්ධ කර ඇත. තොරණ පිටුපස කුඩා සමාධි බුද්ධ රූප සතරක් ද නෙළා ඇත. බුදු පිළිමය වැඩ හිඳින ආසනයෙහි වජ්‍ර ලක්ෂණ සහිත සිංහ රූප නෙළා ඇත. මෙම පිළිමය උස අඩි 15 ක් පමණ වේ. මෙහි දෙවන ප්‍රතිමාව ගුහාවක් තුළ නිර්මාණය කර ඇත. බුදු පිළිමය පිහිටි ගලෙහිම නෙළා ඇති අතර, වජ්‍රාසනයක් මත වැඩ හිඳින පිළිමයෙහි සේසතක් බුදු පිළිමයේ සිරසට ඉහළින් දිස්වේ. මෙය ද වීරාසන ඉරියව්වෙන් වැඩ හිඳින ප්‍රතිමාවකි.

හිටි පිළිමය ගල්විහාරය - gal viharaya

මෙම පිළිමයට ඉහළින් මහාබ්‍රාහ්මයාගේ රුව ද, විෂ්ණු දෙවියන්ගේ රුව ද උන්නතව නිර්මාණය කර ඇත. මෙයින් බුදුරජාණන් වහන්සේ දෙවියන්ට වඩා උසස් දේවාතිදේව භාවය ප්‍රකාශ කෙරේ. මෙම සමාධි ප්‍රතිමාවේ උස අඩි 4 අඟල් 07 කි. නිසින්න පටිමා ගෘහය ලෙසින් හැඳින්වෙන මෙම ලෙන තුළ බිතුසිතුවම් පැවති බවට අද ඉතිරිව ඇති ශේෂ වලින් පැහැදිලිවේ.

අනතුරුව හමුවන්නේ මහා පරාක්‍රමබාහු රජතුමා විසින් කරන ලද මහා ශාසනික සේවාව අතර, ප්‍රමුඛ වූ තුන් නිකාය සමඟි කරවීම පිලිබඳ විස්තර ඇතුළත් වන පොළොන්නරු කතිකාවතයි. මෙය ගිරි ලිපියක් ලෙසින් සඳහන් කරන්නේ පිහිටි ගලෙහිම මේ ශිලාලිපිය කොටා ඇති නිසාය. පොළොන්නරු ගල්විහාරයට ඇතුළත් මෙම ශිලාමය කොටස දිගින් අඩි 13 අඟල් 03 කි. මෙම ශිලා ලිපියේ පේළි 57 කි. මෙය පැරණිතම කතිකාවත සේ සැළකේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් වසර 1708 කට පසු මෙම සංඝ සංශෝධනය කළ බව මෙහි සඳහන් වේ.

භික්‍ෂූන් වහන්සේලා කටපාඩම් කල යුතු ධර්ම කොටස් ද ග්‍රන්ථධූර හා විදර්ශනාධූර පිරීම පිළිබඳව ද, තවත් පිළිවෙත් ද මෙම කතිකාවත සඳහා ඇතුළත් කර ඇත. මහා පරාක්‍රමබාහු රජු විසින් මෙම නිකාය සමගිය ක්‍රි.ව. 1165 දී සිදු කළ බව කියැවේ. මෙම කතිකාවත සඳහන් ගිරි ලිපියට පසුව හමුවන්නේ ලංකාවේ දක්නට ඇති සුවිශේෂ වූ බුදු පිළිමයකි. මෙම පිළිමයේ උස අඩි 22 අඟල් 09 කි. දෑත ළය මත තබාගෙන සිටින මෙම ඉරියව්ව ඉතා විරල වූවකි.

මෙවැනි සෙල් බුදු පිළිම යටාලය පුදබිමේ ඇත. දඹුල්ලේ හා රිටිගල දැවමුවා බුදුපිළිමය බැගින් මේ ඉරියවව්වෙන් නිර්මාණය කර ඇත.අනිමිස ලෝචන පූජාව දැක්වීම පිණිස දෙඅත් බැඳගත් බුදු රූ බිතු සිතුවම් කිරීමේ සිරිතක් මහනුවර සමයේ දී පැවතී බව යාපහුව හා මැදවල විහාරය යන ස්ථානවල ඇති බිතුසිතුවම් වලින් පැහැදිලි වේ. මෙම ගල්විහාරයට අයත් පුදබිමේ අවසානයෙහි ඇත්තේ අඩි 46 දිග සැතපෙන ඉරියව්වෙන් යුතු බුදුපිළිමයකි. නිපන්න පටිමා යනුවෙන් මෙම පිළිමයයි.

හිඳි පිළිමය ගල්විහාරය - gal viharaya

Related posts

Translate »